වෙන්වන මාවත්
පීටර් මාව නොහැඳිනීම ගැන මට ලොකු කනගාටුවක් ඇතිවුනා. අවුරුදු හතරක් මගේ හොඳම යාළුවා දැන් මාව හඳුනන්නෙත් නෑ! කිසිම යාළුවෙක් නැතුව පටන්ගත්ත බ්‍රිස්බන් ජීවිතේ මට ඕන තරම් යාළුවෝ හිටියා. නමුත් උපන් දා පටන් මේ නගරයේම හැදුන වැඩුන කෙනෙක් සමග යාළුවීම ලංකාවෙන් ආ මට ලොකු ආධාරකයක් - ඇත්තටම බ්‍රිස්බන් ජීවිතේ පීටර් මට ක්ෂේමභූමියක් වුනා.
දැන් මට යාළුවෝ වශයෙන් ඉන්නේ කී දෙනාද? නීලා… මයිකල්… මලික්… යාළු හිඟය හොඳටම ඔප්පුවෙන්නේ දවස් කිහිපයක් පමණක් හඳුනන මලික්වත් ඒ ගණයට එකතුවීමෙනුයි. අනික් නගර වල ජීවත්වෙන ‘ලාංකිකයෝ’ යාළු ගණයට එකතුකිරීම මට අමාරුයි.
“මලික් අපි ගිහින් බලමුද මයිකල් ඉන්නවද කියලා? මෙ කිට්ටුව ගෙදර”
“ඕකේ”
මයිකල් ඉරිදා වැඩද නැද්ද කියලා මම දන්නෙ නෑ. හොඳ වෙලවට අපි යනකොට මයිකල් ගෙදර.
“හලෝ ලලිත්! එන්න එන්න…”
“මයිකල් මේ මලික් - ලඟදී ලංකාවෙන් නිවාඩුවකට ආපු කෙනෙක්. දැන් මලික්ටත් අපෙ ප්‍රශ්නෙමයි. මලික් - මේ මයිකලුයි එයාගෙ පවුලයි පුතයි ආවේ කිරිබති දූපතෙන්… ලංකාව වගේ, එදාම අතුරුදහන්වුන දූපතකින්”
මලික් මයිකල්ට අතට අත දීලා හිනාවුනා.
“අපි සේරම යන්න තැනක් නැති මිනිස්සු එහෙනම්…?”
කෙලේලා පුතත් වඩාගෙන එලියට ආහම මම නැවතත් මලික් හඳුනා දුන්නා. ගේ ඇතුලට එන්න ආරාධනය ලැබුනේ කෙලේලගෙන්. නමුත් අපි වැඩි වෙලාවක් එතන නැවතුනේ නෑ. මයිකල් පොරොන්දුවුනා හෙටම රස්සාව ගැන අහලා මට කියන්න. අපෙ ‘ලංකා කවය’ ගැන යමක් කිව්වම මයිකල් කිව්වේ එයාට තවම කිරිබති වලින් ආ කෙනෙක් හමු නොවූ බවයි. කෙලේලත් කතාවට එක්වුනා.
“මට හිතෙන්නේ අපි තුන්දෙනාම ඉන්න නිසා ලලිත්ට තරම්ම තනියක් අපිට නෑ. නමුත් අපෙ දූපතයි නෑදෑයොයි ගැන මතක් වෙනකොට නම් කඳුලු එනවා…”
මට ලංකාවට සම්බන්ධ හදුනන්නෝ කීප දෙනෙක්ම ඉන්නවා. මයිකල් පවුලට කිසිම කෙනෙක් නෑ. ඒ වෙලාවෙයි මට හිතුනේ තව රටවල් කීයක් නැතිවෙලා ඇතිද කියලා. ලංකාවයි කිරිබතියි නැති බව අපි දන්නවා. නමුත් තවත් රටවල් වලට එහෙමවුනේ නෑ කියන්න සාධක නෑ. සමහරවිට අපි ඒ දවස්වල වැදගත් කියලා හිතපු රටවල් දැන් නැතුව ඇති.
ආපහු ගෙදර එන්න ඉස්සර මම කඩේකින් ලෝකේ සිතියමක් ගත්තා. තුන් දෙනෙකුගේ මතක පාවිච්චි කරලා ‘නැතිවුන’ රටවල් නම් කරන්න නීලටත් රෑ කෑමට ආරාධනා කරන්න මම හිතා ගත්තා.
……………………….
මල්ලියි මමයි සෙනසුරාදා දවල් කෑමට ගමේ ගියා. රස්සාවක් පටන්ගෙන ගෙදර යන පළමු සති අන්තය නිසා මම අම්මටත් නංගිටත් තෑගි දෙන්න සාරි ගත්තා. මා පුදුම කරමින් මල්ලී එයාගෙ කේවෙල් හැකියාව පෙන්නුවා, කොළඹ වීදියේ රෙදි සාප්පුවේ මුදලාලිත් එක්ක සාකච්ඡා කරලා මිල සියයට විසි පහකින් අඩු කරවාගෙන. මම කවදාවත් එහෙම මිල අඩු කරගෙන නෑ - ඉල්ලන ගනනක් දීම නැත්නම් වෙන සාප්පුවකට යෑමයි මට පුරුදු ක්‍රමය.
“එහෙම බෑ අයියා…. මිනිස්සු මූණ බලලා ගනං කියනවා, හොඳටම හඳුනන්නෙ නැත්තං. ඒ හොරේකටමත් නෙවෙයි - ඒ පිළිගත්ත ක්‍රමය. අඩු කරලා ඉල්ලුවෙ නැත්තම් මුදලාලිටත් මොකද්දෝ වගේ!”
“චුට්ටී අපි කෑම මොකුත් අරගෙන යනවද?”
“… ඒ නෑ ගමන් යනකොට - ගෙදර යන්ට එහෙම නෑ. හැබැයි ගෙදර හදන්ට බැරි දෙයක්, බෝන්ඩාල් වගේ, ගත්තට කමක් නෑ”
මට තව ඉගෙනගන්න දේ බොහොමයි.
“ලොක්කා තෑගිත් අරගෙන!”
මම අම්මට වැඳලා ගෙනා සාරිය දුන්නා. අම්මගෙ ඇහේ කඳුලක් වගේ තිබුන නිසා මම කතාකළේ ඇගේ මුහුණ නොබලා.
“මගෙ පළවෙනි රස්සාව; පළවෙනි පඩිය නේ!”
නංගී තෑග්ග දැක්කේ වෙන විදිහකට.
“දවස් තුනයි වැඩ - පඩිත් හම්බවෙලා! හැබැයි සාරි ගෙනත් දෙනවනම් කොම්පැනියට ජයවේවා!”
“කොම්පැනියට නෙවෙයි මටයි ජයවේවා කියන්න ඕනෑ”
මේ වගේ හිස් කතා… කිසි තේරුමක් නැති… වැඩකට නැති … කතා හරියට ගඩොල් එකට අල්ලන බදාම වගේ පවුලේ අපි එකට බඳවා තියන්න උදව්වුනා කියලා මට හොඳටම විශ්වාසයි. මම දන්නවා තමාගේ ගෙදර අය එක්ක විහිළු නොකරන යාළුවෝ කීප දෙනෙක්. කොයි තරම් හොඳ මිනිස්සු, හිතවත් පවුල්, වුනත් වෙන විදිහකට ලෝකේ දිහා බලන මට පෙනුනේ ඒ ගෙවල් හෝටල් වලට වඩා වෙනස් වන්නේ සුළු වශයෙන් බව. රට හිටපු කාලෙත් මට දැනුන ලොකුම අඩුව මේ පවුලේ ‘බදාම’ මයි.
“ඉතින් ලොක්කා කොළඹ ගියාද?”
අපි දවල්ට කන ගමන් මගේ රස්සාව, නවාතැන, කොළඹ ගමන වගේ දේ ගැන කතාවුනා. ඒ අතරට අළුත් අදහසක් යෝජනා කළේ මල්ලී.
“මං හිතන්නේ අප් ගෙදරට ටෙලිෆෝන් ගත්තොත් හොඳයි කියලා”
මම ඒකට වහාම රුකුල් දුන්නා.
“නියම අදහස… මේ හරියේ ගෙවල් වලට ටෙලිෆෝන් දැන් තියෙනවද?”
උත්තරේ ආවේ නංගිගෙන්.
“කඩපේලියේ ටෙලිෆෝන් තුනක් තියෙනවා… ගමේ ගෙවල් වල… මං හිතන්නේ විජේසේකර ගෙදරයි පොල් මුදලාලිගෙ ගෙදරයි තමා… නෑ නෑ… රාලහාමිගෙ ගෙදරත් තියෙනවා…”
අම්මා විතරයි කෙලින්ම අනුබල නොදුන්නේ.
“මොකොටද අප්පා අපිට් ටෙලිෆෝන්? එකක් හරි ගනං, තව කණු හිටවන්ටත් ඕන වෙයි. අනික, දුව රස්සාවකට ගියාම කවුදෑ ඕක පාවිච්චි කරන්ට ඉන්නේ?”
“මට තව රස්සාවක් නෑ නෙ අම්මා! හදිස්සියකට දොස්තර කෙනෙකුට, අයියට හරි මල්ලිට වත් කතා කරන්ට ඕන උනොත්? අනික කොහෙවත් යන්ට වාහනයක් එහෙම ගෙන්නා ගන්ටත් පුළුවන්… මං කියන්නේ ටෙලිෆෝන් එකක් ගන්න එක හොඳටම වටිනවා; හදිස්සියේ රස්සාවක් ගැන කතා කරන්ටත්!”
“චුට්ටී බලනවද අළුතෙන් ටෙලිෆෝන් එකක් ගන්නේ කොහොමද කියලා? ගෙවන්නේ මම… මම කොච්චර ආසාවෙන් හිටියද වෙලාවක ගෙදරට කතා කරන්න පහුගිය අවුරුදු කීපේ! මං දැනගෙන හිටියෙ නෑ ගමේ කොහෙවත් ටෙලිෆෝන් තියෙයි කියලා!”
මල්ලී මාපොට ඇඟිල්ල උස්සලා වැඩේ බාර ගත්ත බව පෙන්නුවා. අම්මා හිනාවුනා.
“අපෙ ගමත් දැන් ටවුමේ වගේ තමා - ලයිට්, ටෙලිෆෝන් - ආයෙ මොනවද ඉතින්!”
තව කරන්න පුළුවන් දේ කීපයක් තියෙන බව මට හිතුනා. උපන්දා පටන් සරසවි කනතුරු හිටපු ගෙදර මට පුරුදුයි වගේම සනීපයි. නමුත් ඒ තවත් වැඩිදියුණු කරන්න ඉඩ නැතුවම නෙවෙයි. නමුත් ලඟදී ගෙදර ඇවිත් අළුත් අළුත් දේ ඉල්ලන එක හරියට ගෙදර අඩුපාඩු සොයනවා වගේ අම්මට පෙනෙයි කියලා මට බයයි. ඒ නිසා මම කතා කරේ ටිකක් පරෙස්සමෙන්.
“මං කැමතියි තව එක දෙයක් ගැන හිතලා බලන්න… දැන්මම නෙවෙයි, ටෙලිෆෝන් එහෙම අරගෙන ඉවරවෙලා. ටෙලිෆෝන් තමා වැදගත්ම… දැන් අපි උඩහ ඇලෙන් අපෙ කුස්සිය ලඟ ටැන්කියට වතුර හරවලා තියෙන්නේ… මං හිතුවේ ගේ පිටිපස්සේ ඇල්ල උඩ ටැන්කියක් හදලා ඒකට වතුර පිරෙව්වොත් අපිට කෙලින්ම ගේ ඇතුලට වතුර ගන්ට පුළුවන් පොම්පයක් නැතුවම - කුස්සි, නානකාමර, ටොයිලට්… එහෙම පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි හැබැයි අම්මටයි නංගිටයි තමා නියම… රෑ වෙලා වුනත් නාන්ට පුළුවන් - ආයෙ කරුවලේ ලිඳ ලඟට බහින්න ඕන නෑ”
නංගිගෙන් සතුටු හිනාවක් ආවට අම්මා හිතුවේ වියදම ගැන වෙන්න ඇති.
“ලොක්කා ඔය සේරම කරනවා කියන්නේ හරියට අළුතෙන් ගෙයක් හදනවා වගේ වියදං තියෙයි!.. රස්සාවට ගිහින් තව දවස් කීයද මෙච්චර වැඩ ගැන කතා කරන්ටවත්!”
“ඒක ඇත්ත අම්මා… මේ සේරම ටක් ගාලා එක සැරේම වෙන්නෙ නෑ… අපි ටෙලිෆෝන් වැඩේ කරලා අනික් එව්වා බලමු…”
එදා හවස මල්ලිත් එක්ක පහල ඇලෙන් නාන ගමන් අපි ගෙදර අළුත්වැඩියා ගැන තව ටිකක් සාකච්ඡා කරා.
“මං හිතුවේ චුට්ටී, මාස දෙක තුනකින් ටෙලිෆෝන් හයිකරගත්තොත් අනික් වැඩ ඊට පස්සේ පටන්ගන්න පුළුවන් වෙයි කියලා. මට හම්බවෙන පඩිය නරක නෑ. මාස කීපයක් ගිහින් බලමු සල්ලි තත්වේ කොහොමද කියලා…. මගෙ බලාපොරොත්තුව මේවා අද හෙටම කරලා දාන්නම නෙවෙයි. දැන් අම්මයි නංගියි ඒ ගැන හිතන්න පටන් ගත්තොත්, හදන කාලේ එනකොට දෙන්නගෙම සපෝට් තියෙයි!”
“අයියා දන්නවානේ මට සල්ලි අතින් උදව් දෙන්ට බෑ කියලා. අයියත් වැඩියම හදිස්සි වෙන්ට එපා - දැන් රටේ තත්වෙට පුරුදුවෙලා ඉන්ට. පිටරට වගේ මෙහෙ වැඩක් කරගන්ට බෑ - ජලනල, ටැන්කි, බාත් රූම් එහෙම හදන්ට බඩු ගන්න එකත් ලේසි නෑ. ඒ නිසා ඒ වැඩ ටික කොහොමටත් කල් යයි. හැබැයි ටෙලිෆෝන් වැඩේ එහෙම නෑ - ලයින් එකේ කැපෑසිටි තියෙනවනං වැඩේ ඉක්මනට කරගන්ට බැරි නෑ… මං කීප දෙනෙක් අඳුරනවා ඒකට…”
“රයිට්. එහෙනං ටෙලිෆෝන් වැඩෙන් පටන්ගමු. වියදම් මට කිව්වොත් මම සල්ලි හොයලා දෙන්නම් වෙලාවට. මට කන්තෝරුවට හරි ෆ්ලැට් එකට හරි කෝල් කරන්න පුළුවන්… උඹ බීඩියක් ගෙනාවද?”
අපි දෙන්නා ගල් උඩ වාඩිවෙලා කතා නැතුව සිගරට් එකක් බෙදාගෙන බිව්වා.
……………………………
මම මේසේ උඩ ලෝක සිතියම දිග හැරියේ රෑ කෑමෙන් පස්සේ කෝපි කෝප්පයක් බොන ගමන්. ඒ වෙලාව වෙනකොට මලික් එක්ක අද ගිය ගමන් ගැන නීලට කියලා ඉවරයි. මගෙ පරණ යාළුවා පීටර් මා හඳුනා ගැනීම ගැන නීලා කනගාටුවුනා. ඒ එක්කම මයිකල් එයාගෙ වැඩපොලෙන් මලික්ටත් රස්සාවක් සොයා දෙන්න උත්සාහ කිරීම ගැන සතුටුවුනා. ලංකාවයි කිරිබතියි ලෝකේ නැති බව දන්න අපි තව රටවල් කීයක් ‘නැතිවෙලාද’ කියලා සොයාගන්න උත්සාහයට නීලා කැමතිවුනේ එයින් කිසි පලක් ඇත්ද නැත්ද කියා හරි හැඟීමක් නැතුවයි. පළමු ප්රශ්නය ආවේ නීලගෙන්.
“ලෝකේ රටවල්, ඇත්තටම දූපත්, ලයිස්තුවක් තිබුනානම් වැඩේ ලේසිවෙයි නේද?”
“ඒක ඇත්ත… විශේෂයෙන් අපෙ කාලේ ලයිස්තුවකුත් තිබුනානම්!”
“අනේ මම ඔය දූපත් එහෙම ගැන වැඩිය දන්නෙ නෑ… දුරට ඉගෙනගත්ත නැති මම දන්නේ එංගලන්ත පැත්තේ දූපත් - එහෙ ගිහින් තියෙන නිසා; නිවුගිනි දූපත් - එහෙ තේ වැවෙන නිසා…. ආයෙ සීෂෙල්ස් - එංගලන්තේ යන ගමන් මම ගියේ සීෂෙල්ස්-නයිරෝබි හරහා නිසා… ආයෙ මාලදිවයින්…”
“මම බැලුවේ මෙ කිට්ටුවෙන් පටන් ගත්තොත්… ටැස්මේනියාව, නවසීලංතය, ඉන්දුනීසියාව - එතන දූපත් ගොඩයි; නිවුගිනිත් එහෙමයි… ආයෙ පැසිෆික් සාගරේ තියෙන දාස් ගනන් දූපත්…”
“මේවා තිබුන් තැන් හරියිටම නොදැන කොහොමද අපි කියන්නේ දැන් ඒවා නෑ කියලා… මේ සිතියමේ ටැස්මේනියාව, නවසීලංතය එහෙම තියෙනවා. නමුත් ලලිත් දන්නවද හරියටම කොහෙද ඉන්දුනීසියාවේ දූපත් තියෙන්නේ කියලා?”
නීලගෙ ප්‍රශ්නෙන් තේරුනා මේ වැඩේ තරම් ලේසි නොවන බව.
“අපි බලමුද මෙහාට පිටරටින් ඇවිත් ඉන්න, අපි හඳුනන අයගෙ රටවල් ඉස්සරවෙලාම? ජෙනී චොං සිංගප්පූරුවේ - සිංගප්පූරුව තියෙනවද බලන්න … නීලා…”
“සිංගප්පූරුව හරි! ඒ කිට්ටුව අනික් ලොකු දූපත් එහෙමත් තියෙනවා… ජාවා, සුමාත්‍රා, බෝනියෝ වගේ… හැබැයි පොඩි ඒවා නැතිවෙලාද කියලා කියන්න විදිහක් නෑ…”
“ඒ කියන්නේ ඉන්දුනීසියාවේ ලොකු දූපත් තියෙනවා - ඊට උඩින් ෆිලිපීන් දූපත්?”
“ඒත් තියෙනවා… පොඩි දූපත් හුඟාක් තියෙනවා - මම නම් දන්නෙ නැතුවට… ජපානෙත් එහෙමයි… මේක හරියන් වැඩක් නෙවෙයි ලලිත් - වෙන එකම දේ අපේ නොදැනුවත්කම එලිපහලි වීම විතරයි!”
මෙතෙක් සද්ද නැතුව සිතියම දිහා බලාගෙන හිටි මලික් හදිසියේම කොන්ද කෙලින් කරා.
“මැඩගස්කා, සීෂෙල්ස්, මොරීෂස්… ඒ එකක් වත් නෑ! අප්‍රිකාවේ නැගෙනහිර තිබුන දූපත් සිතියමේ නෑ…”
ලංකාවටත් වැඩිය ලොකු මැඩගස්කාරය නැති වීම් ලොකු ප්‍රවුර්තියක්. අපි ක්‍රමානුකූලව සිතියම පරීක්ෂා කරන්න පටන්ගත්තා.
අපි බලාපොරොත්තුවුනේ නැතිවී ගිය රටවල් ලකුණු කරගත්තොත් ඒවා අතර ඇති යම්කිසි පොදු ලක්ෂණ හඳුනා ගන්න හැකිවේ කියලයි. එවැනි දැනුමකින් කුමක් කළ හැකිදැයි ඒ වෙලාවේ මට කිසි අදහසක් තිබු නෑ.